කැබිතිගොල්ලෑව හේමන්ත රණසූරිය 



සරසවි සිසුවකු වූ මුණුපුරා නොගැළපෙන වචනයක් කිව්වා යැයි උරණ වූ අත්තම්මා කෙනකු ඔහුට කොසු පහර දුන් පුවතක් කැබිතිගොල්ලෑව ප්‍රදේශයේ ගමකින් දැනගන්නට ලැබුණි. 
එම සිද්ධිය මෙසේය. 
මෙම මුනුපුරා තම මව්පියන්ගෙන් කුඩා කල සිටම වෙන් වී තම මවගේ මව වන අත්තම්මා සමීපයේ ඇති දැඩි විය. මෙම අත්තම්මා දැඩි නීති රීති සහිත විනයගරුක විනීත ගති පැවතුම් ඇති තැනැත්තියක වූවාය. වැරදීමකින්වත් “තා, තෝ, උඹ, පලයන්, වරෙන්,”‍ යන වචන මුනුපුරාගේ මුවින් පිට වෙනු ඇසුණු විගස ඒ මොහොතේම මුනුපුරාට දැඩි ලෙස දෝෂාරෝපණය කිරීමට ඇය වග බලා ගත්තාය. මෙම අත්තම්මාගේ කන් ඇසීම තරමක් දුර්වල මට්ටමක පැවතුණි.


සරසවි සිසුවකු වූ මුනුපුරා “ජාත්‍යන්තර සබඳතා විෂය”‍හදාරන කෙනෙකි. ඔහු මේ දිනවල සරසවියෙන් ලැබුණු නිවාඩුවකට නිවසට පැමිණ සිටියේය. 
මිතුරන් සමග ගමන් බිමන් යෑම තහනම් කළ අත්තම්මා, මුනුපුරාට නියෝග කර ඇත්තේ කාමරයට වැදී පාඩම් කරන ලෙසටය. 
මුනුපුරා පාඩම් කරන්නේ පිටතට ඇසෙන ලෙසටය. මෑතකදී සෞදිය සහ ඇමරිකාව මැදිවී ඇති සටනක් පිළිබඳව ඔහුගේ පොතක සටහනක් පිටතට ඇසෙන ලෙස පාඩම් කරමින් සිටියේය. එනම් එම ඡේදය මෙසේය.”‍
“දිගින් දිගටම සෞදියට මිසයිලවලින් පහර දෙන “හූති”‍ සටන්කාමීන් මට්ටු කිරීමට තමන් සූදානම් බව ඇමෙරිකා ජනපදයේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා ඇත.”‍
මෙම සටහන් කොටස ඔහු හඬ නගා පාඩම් කරමින් සිටියේය. එහි ඇතුළත් “හූති”‍යන වචනයට අත්තම්මා තිගැස්සී කන් දීගෙන සිටියාය..
බැරිම තැන අත්තම්මා කොස්සක් රැගෙන මුනුපුරාගේ කාමරයට කඩා පැන” “උඹ විශ්ව විද්‍යාලයේ ගිහින් ඉගෙන ගත්තේ ඕවද, මම දැන් දෙතුන් වතාවක් අහගෙනයි හිටියේ. නවත්තපන් ඔය පාඩම් කිරිල්ල”‍ යනුවෙන් මුනුපුරාට කොස්සෙන් පහරවල් දෙකක් ගැසුවාය. 
පසුව මුණුපුරා සන්සුන් වී අත්තම්මාට සියලු‍ කරුණු කාරණා පැහැදිලි කර දුන්නේය. අත්තම්මා විළිබරව “අනේ පුතේ මට සමාවෙයන්. මගේ කන් දෙක දැන් ඇහෙනවා හොඳටෝම හොරයි”‍යනුවෙන් පවසා ගෙතුළට වැද දොර වසා ගත්තාය. 
මේ සිදුවීම පවුලේ ඥාතීන්ටද සැලවිය. දැන් ඔවුන් අත්තම්මා හමුවන විට ‘‘අර සටන්කරුවන්ගේ නම මොකක්ද ආච්චි අම්මේ”‍යැයි අසන විට අත්තම්මාට මුනුපුරාගේ කටින් වැරදියට ඇසුණු වචනයට තවත් වචනයක් දෙකක් දමා ඔවුන්ට හොඳම එකෙන් පිළිතුරු දෙනවාලු‍.